ඇඳේ කොච්චර එහාට මෙහාට පෙරළුනත් නින්දක් නම් එන පාටක් තිබුණේ නෑ. ඒසී එකේ සීතල ඇඟට දැනුනට, හිත ඇතුළේ තිබුණේ හිර උන හැගීමක්. ඇඟේ තිබුණු තුනී ඇදුමත් එක්ක ඒ සීතල ඇටකටු දක්වාම යනවා වගේ දැනුනත්, හිතේ තනිකමෙන් ඇතිවුණු රස්නය නිවන්න ඒකට පුළුවන් වුණේ නෑ. මේ තවත් එක දවසක් විතරයි. මේ මහා ඇඳේ, මේ හතර බිත්ති කාමරේ ඇතුළේ මම තනියම ගෙවන තවත් එක රැයක්. කුවේට්වලට ඇවිත් දැන් මාස අටක් විතර වෙනවා. මේ රටේ වියළි හුළඟ වගේම මගේ ජීවිතෙත් කිසිම හැඟීමක් දැනීමක් නැතුව වේළිලා ගිහින්. හැමදාම රෑට ෆිල්ම් එකක් බලලා නිදාග්න්න එකයි කරන්නෙ. ඒකත් දැන්නම් එපා වෙලා. මගෙ හිතේ හැගීම් බෙදගන්න කාරු හරි කෙනෙක් හිටියනම් කියලා එතකොට තමයි හිතෙන්නෙ.
මම වැඩ කරපු ගෙදර හිටියේ “බාබා” සහ එයාගේ වයසක අම්මා විතරයි. අම්මට ඇවිදින්න බෑ. ඉතින් එයාව බලාගන්න එකයි, ගෙදර දොරේ වැඩ ටිකයි තමයි මගේ රාජකාරිය. දවසම ගෙවෙන්නේ එකම විදියට. උදේ නැගිටිනවා, තේ හදනවා, අම්මව සුද්ද කරලා කවනවා, ගේ අස්පස් කරනවා, උයනවා, රෙදි සෝදනවා. රෑ වෙනකල්ම වැඩ. දවස ගෙවිලා යනවා දැනෙන්නෙවත් නෑ. ඒත් රෑට මේ ඇඳට ආවම තමයි තනිකම මගේ ඇඟ වටේම සර්පයෙක් වගේ එතෙනවා වගේ දැනෙන්නේ. සමහර දවස්වලට ෆෝන් එක අරගෙන ලංකාවේ යාළුවෝ දාන ෆොටෝ බලනවා. එයාලා හිනාවෙලා ඉන්න හැටි, එකට ඇවිදින්න ගිහින් ඉන්න හැටි කොල්ලො එක්ක ඉන්නවා දකිද්දී ඇස්වලට කඳුළු එනවා නවත්තගන්න බෑ. මගේ වයසේ කෙල්ලෙක්ගේ හිතේ තියෙන්න ඕන ආසාවල්, හීන ඔක්කොම මේ කාන්තාරේ වැලි කුණාටුවකට අහුවෙලා වගේ.
ඔහොම ඉන්නකොට තමයි දවසක් අපේ ගෙදරට අලුත් කෙනෙක් ආවේ. බාබගේ අලුත් ඩ්රැයිවර්. ලංකාවේ කොල්ලෙක් කියලා ආරංචි වුණාම හිතට පුංචි හරි සැනසීමක් දැනුණා. මම කුස්සියේ වැඩක ඉන්නකොට තමයි එයාව මුලින්ම දැක්කේ. බාබා එයත් එක්ක කතා කර කර හිටියා. මම හොරෙන් එබිලා බැලුවා. දෙයියනේ… උස මහත, හැඩිදැඩි කොල්ලෙක්. එයා ඇඳන් හිටපු ටී-ෂර්ට් එකට එයාගේ පිරිපුන් අත් දෙකයි, පුළුල් පපුවයි කැපී පෙනුනා. මම දැකලා තියෙන නළුවන්ට කොහෙත්ම දෙවෙනි නෑ. නිකමට වගේ එයා මේ පැත්ත බලද්දී මම ඉක්මනට අහක බලාගත්තා. ඒත් ඒ තත්පරේට මගේ මුළු ඇඟම හිරිවැටිලා ගියා. අවුරුදු ගාණකින් පිරිමි කෙනෙක් දිහා මෙහෙම බලලා නෑ නේද කියලා මටම හිතුනා.
පස්සේ තමයි දැනගත්තේ එයාගේ නම කසුන් කියලා. මුල් දවස්වල අපි කතා කළේ නෑ. මම මගේ පාඩුවේ වැඩ කරගෙන හිටියා. එයා එයාගේ වැඩේ. ඒත් සතියකට සැරයක් ගෙදරට බඩු ගේන්න යන්න වුණේ එයා එක්ක. වාහනේ ඉස්සරහ සීට් එකේ එයා ළඟින් වාඩිවෙලා යද්දී, මම පුළුවන් තරම් අයිනට වෙලා ජනේලෙන් එළිය බලාගෙන ගියා. ඒත් එයාගේ සුවඳ, එයා ඉන්නවා කියන හැඟීම මට හොඳටම දැනුනා.
“නංගිට පාළු නැද්ද මෙහෙම තනියම?” දවසක් වාහනේ යද්දී නිහඬ බව බිඳලා එයා ඇහුවා.
මම ගැස්සිලා ගියා. “පාළු නැතුවයැ අයියේ. සමහර වෙලාවට පිස්සු හැදෙනවා වගේ.” මම කිව්වේ ඇත්තටමයි.
“මටත් එහෙම තමයි. දවසම මේ වාහනේට වෙලා තනියම ඉන්න එක හරිම බෝරින්. මමත් බැඳලා නෑනේ. ඉතින් තනිකම හොඳටම දැනෙනවා.”
එයා එහෙම කියද්දී මට දැනුනේ පුදුම සහනයක්. මට විතරක් නෙවෙයි මේ දුක තියෙන්නේ කියලා හිතුණා. එදායින් පස්සේ අපි ටික ටික කතා කරන්න පටන් ගත්තා. ගමේ විස්තර, ගෙදර අය ගැන, ලංකාවේ කෑම ගැන… අපි කතා නොකරපු දෙයක් නෑ. එයාගේ කටහඬ අහන් ඉන්නකොට, එයා හිනාවෙනකොට මගේ හිතේ තිබ්බ ගොඩක් දුක නිවිලා යනවා වගේ දැනුණා. සමහර දවස්වල බඩු ගේන්න ගියාම, “නංගි මොනවා හරි කමුද?” කියලා අහලා මට පොඩි කෑමක් එහෙම අරන් දෙනවා. ඒ වෙලාවට මට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ.
මාස දෙක තුනක් යද්දී අපි හොඳටම යාළු වෙලා හිටියා. ඒක නිකම්ම යාළුකමක් නෙවෙයි කියලා මට තේරිලා තිබුණේ. ඒත් මම මුකුත් කිව්වේ නෑ. දවසක් අපි බඩුත් අරගෙන ගෙදර එන ගමන් හිටියේ. එදා පාරේ ටිකක් වාහන තදබදයකුත් තිබුණා.
“නිමාෂා…” එයා එකපාරටම මගේ නම කිව්වා. ඒ කටහඬේ වෙනදට වඩා වෙනසක් තිබුණා.
“ඇයි කසුන් අයියේ?” මම එයා දිහා බැලුවා.
“මට ඔයාට දෙයක් කියන්න ඕන. හැබැයි තරහා වෙන්න එපා.”
මගේ පපුව ගැහෙන්න ගත්තා. “කියන්න අයියේ, මම තරහා වෙන්නේ නෑ.”
“මම… මම ඔයාට ගොඩක් ආසයි නිමාෂා. මුලින්ම දැකපු දවසේ ඉඳලම මගේ හිත ඔයාට ගියා. ඒත් කියන්න බය හිතුනා ඔයා මොනවා හිතයිද කියලා.”
ඒ වචන ටික ඇහෙද්දී මගේ කන් දෙකත් රතු වුණා. මගේ මුළු ලෝකෙම එක මොහොතකට නැවතුනා වගේ දැනුණා. මම සිහිනෙන්වත් හිතුවේ නෑ එයා එහෙම දෙයක් කියයි කියලා. මට කතා කරගන්න බැරුව ගියා.
“නිමාෂා… මුකුත් කියන්නේ නැද්ද?”
මම එයා දිහා බැලුවා. මගේ ඇස්වල කඳුළු පිරිලා තිබුණා. මම ඔලුව වනලා යන්තම් හිනා වුණා. මගේ උත්තරේ ඒකෙන් එයා තේරුම් ගත්තා. එයාගේ මූණේ ඇඳුනේ පුදුම සතුටක්. එදා තමයි මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළුණේ.
ඒත් අපේ ආදර කතාව රෝස මල් යහනාවක් වුණේ නෑ. අපි වැඩ කරන්නේ එකම ගෙදර. බාබාට හරි, එයාගේ අම්මට හරි මේක අහුවුණොත් දෙන්නගෙම රස්සාවල් ඉවරයි. ඒ නිසා අපි හරිම පරිස්සම් වුණා. දවල්ට අපි කතා කළේ වචනයක් දෙකක් විතරයි. ඒත් රෑ වුණාම තමයි අපේ ලෝකය පටන් ගත්තේ. හැමෝම නිදාගත්තට පස්සේ මම වොෂ් රූම් එකට යනවා කියලා මගේ කාමරෙන් එළියට ඇවිත්, හොරෙන්ම එයාට වීඩෝ කෝල් එකක් ගන්නවා. ඒ අඳුරේ, ෆෝන් එකේ එළියෙන් එයාගේ මූණ දකිද්දී මට දැනෙන සතුට වචන වලින් කියන්න බෑ. අපි පැය ගාණක් එහෙම කතා කරනවා. අපේ හීන ගැන, අනාගතේ ගැන.
කුස්සියේදී සිදුවූ ඒ සිපගැනීමෙන් පසුව අපිට එකිනෙකාගෙන් ඈත්වෙලා ඉන්න එක තවත් අමාරු වුණා. දවස තිස්සේ දහස් වාරයක් මගේ හිත දිව්වේ එයා ළඟට. එයාගේ ඇස් දෙක එක පාරක් හරි දකින්න ලැබෙනකල් මම බලන් හිටියා. වීඩියෝ කෝල් වලින් අපේ හිත් සැනසුනත්, ඒ උණුසුම ඇඟට දැනිලා තිබ්බ මට, ආයෙමත් ඒ තුරුලට යන්න තිබ්බේ පුදුම ආසාවක්. ඒ ආසාව ඉවසගන්න බැරිම තැන තමයි අපි අපේ රහස් තැන හදාගත්තේ – ගරාජ් එක.
ඒක අපේ පන්සල වුණා. අපේ ලෝකය වුණා. රෑ දොළහට විතර, මුළු ගෙදරම මර නින්දේ ඉද්දී, මම හෙමින් සීරුවේ මගේ කාමරේ දොර ඇරගන්නවා. පපුව ගැහෙන සද්දේ මටම ඇහෙනවා. බිමට සද්දයක්වත් ඇහෙන්නේ නැති වෙන්න මම පූසෙක් වගේ හෙමින් හෙමින් අඩිය තියලා කුස්සියේ පිටිපස්සේ දොරෙන් එළියට පැනගන්නවා. ඒ කළුවරේ, හඳ එළිය යන්තමට වැටිලා තියෙන මිදුල දිගේ ගරාජ් එක ළඟට යද්දී බයට මුළු ඇඟම සීතල වෙලා යනවා. ඒත් ඒ බය නැතිවෙන්නේ, ගරාජ් එකේ පොඩි ෂටර් එක යන්තමට ඇරලා, ඒ අතරින් එළියට එන කසුන් අයියාගේ අත මගේ අතේ පැටලෙනකොට.
එයා මාව ඇතුලට ඇදලා අරගෙන ෂටර් එක වහනවත් එක්කම, මාව එයාගේ පපුවට තුරුළු කරගන්නවා. ආහ්… ඒ මොහොත! දවසම මගේ හිතේ තිබ්බ හැම දුකක්ම, හැම පාළුවක්ම, හැම බරක්ම ඒ තුරුල ඇතුළේ දියවෙලා යනවා. ගරාජ් එකේ තියෙන පරණ ඔයිල් සුවඳ, ග්රීස් සුවඳ එක්ක එයාගේ ඇඟේ සුවඳ මගේ නහයට දැනෙද්දී මට දැනෙන්නේ මම ගෙදර ආවා වගේ හැඟීමක්.
“පරිස්සමෙන්ද ආවේ මැණික?” එයා මගේ කොණ්ඩේ අතරින් ඇඟිලි යවමින් අහනවා.
මම ඔලුව වනන්නේ එයාගේ පපුවට තවත් තුරුළු වෙන ගමන්. මගේ හීතල වෙලා තිබ්බ ඇඟට එයාගේ සිරුරේ උණුසුම ටිකෙන් ටික කාන්දු වෙනවා. ඒක නිකම්ම නිකම් උණුසුමක් නෙවෙයි. ඒක මගේ හිතේ තිබ්බ අයිස් කුට්ටියක් දියකරලා යවන ආදරණීය උණුසුමක්. අපි වචනයක්වත් කතා නොකර විනාඩි ගාණක් එහෙම ඉන්නවා. ඒ නිශ්ශබ්දතාවය ඇතුළේ අපේ හදවත් දෙක විතරක් කතා කරනවා.
ඊටපස්සේ එයා මගේ මූණ අත් දෙකට අරගෙන, මගේ ඇස් දිහා බලනවා. ඒ අඳුරේ වුණත් එයාගේ ඇස්වල තියෙන ආදරේ මට හොඳට පේනවා. එයාගේ රළු වෙච්ච ඇඟිලි තුඩු මගේ කම්මුල් දිගේ හරිම සිනිඳුවට ගමන් කරද්දී මගේ ඇස් ඉබේම පියවෙනවා. එයා මගේ නළලට, ඇස් දෙකට, කම්මුල් දෙකට හෙමින් හෙමින් හාදු තියනවා. ඒ හැම හාදුවකින්ම එයා මගේ හිතේ තියෙන වේදනාවන් එකින් එක සුව කරනවා වගේ. අන්තිමට එයා මගේ තොල් මතට පාත් වෙද්දී, මම මගේ මුළු ලෝකයම අමතක කරලා ඒ මොහොතේ ජීවත් වෙනවා. ඒ හාදුවල තිබුණේ රාගයට වඩා ආදරයක්. නැතිවෙයි කියන බයට වඩා අයිති කරගැනීමේ ආසාවක්.
අපි ගරාජ් එකේ තිබ්බ පරණ පුටුවක වාඩිවෙලා, මම එයාගේ උරහිසට ඔලුව තියාගෙන පැය ගාණක් කතා කරනවා. ලංකාවට ගිහින් අපි හදන ගේ ගැන, අපිට ලැබෙන දරුවෝ ගැන, අපි එකට ගත කරන ජීවිතේ ගැන අපි හීන මවනවා. ඒ හීන තමයි මේ කාන්තාර ජීවිතේ විඳදරාගන්න මට ශක්තිය දුන්නේ. සමහර දවස්වලට එළියේ හුළඟ සැරට හමනකොට මට සීතල දැනෙනවා. ඒ වෙලාවට එයා එයාගේ ජැකට් එක ගලවලා මගේ ඇඟට පොරවනවා. ඊටපස්සේ මාවත් ඒ ජැකට් එක ඇතුළට අරගෙන තුරුළු කරගන්නවා. ඒ උණුසුම ඇතුළේ ඉන්නකොට මට දැනෙන්නේ මුළු ලෝකෙන්ම මාව ආරක්ෂා වෙලා කියලයි.
ඒත් ඒ සතුට හැමදාම තිබුණේ නෑ. පොඩි සද්දයක් ඇහුණත් අපි ගැස්සිලා යනවා. කවුරුහරි ඇහැරෙයිද කියන බය හැම තිස්සෙම හිතේ කෙළවරක තිබුණා. යන්න වෙලාව ආවම තමයි අමාරුම. “හෙටත් එනව නේද?” කියලා එයා මගේ අත තද කරලා අහනවා. මම ඔලුව වනලා, අකමැත්තෙන් වුණත් එයාගෙන් ගැලවිලා ආයෙමත් මගේ කාමරේට එනවා. ඒත් ඒ එන්නේ තනියම නෙවෙයි. එයාගේ සුවඳ, එයාගේ උණුසුම, එයාගේ ආදරේ ඔක්කොම මගේ ඇඟේ, හිතේ තවරගෙන. ඒ මතකයන් තමයි පහුවදා උදේ වෙනකල් මාව ජීවත් කරවන්නේ.
බඩු ගේන්න යන දවස් අපේ නිදහස් දවස් වුණා. අපි සුපර්මාකට් එකට ගියාට පස්සේ, සමහර වෙලාවට එළියේ තිබ්බ පොඩි හොටේල් එකකට ගිහින් කෝපි එකක් බොනවා. ඒ වෙලාවට අපි හරියට අලුතෙන් බැඳපු ජෝඩුවක් වගේ. අත් අල්ලගෙන, හිනාවෙවී කතා කරනවා. ඒ පොඩි වෙලාව අපිට මහමෙරක් වටිනවා.
තවත් දවසක්, බාබා මහ ගෙදර ගියපු දවසක, මම කුස්සියේ ඇවිදිද්දි ලිස්සලා ගිහින් ඇදගෙන වැටුණා. මගේ දකුණු කකුලේ වළලුකර හොඳටම පෙරළුණා. මට වේදනාවට “ආව්” කියලා කෑගැහුණා. ඒ සද්දෙට කසුන් අයියා දුවගෙන ආවා.
“නිමාෂා! දෙයියනේ මොකද වුණේ?” එයා බිම වැටිලා ඉන්න මාව දැකලා හොඳටම කලබල වුණා.
එයා වචනයක්වත් කතා නොකර මාව අත් දෙකින්ම උස්සලා ගත්තා. හරියට මම පිහාටුවක් වගේ සැහැල්ලුයි වගේ එයාට දැනෙන්න ඇති. එයා මාව උස්සගෙන ගිහින් මගේ කාමරේ ඇඳ උඩින් තිබ්බා. මගේ ඇස්වලින් කඳුළු ගලනවා. ඒ වේදනාවට වඩා, එයාගේ ඇස්වල මම ගැන තිබ්බ බයයි, ආදරයයි දැකලා. එයා ෆස්ට් ඒඩ් බොක්ස් එක ගෙනත්, බෙහෙත් දාලා මගේ තැළුණු කකුල හරිම හෙමින් පිරිමැද්දා. එයාගේ ඇඟිලි තුඩු මගේ කකුලේ වදිනකොට වේදනාවත් එක්කම මගේ ඇඟ පුරා කිති කැවෙනවා වගේ දැනුණා. බෙහෙත් ගාලා ඉවරවෙලා එයා මගේ ළඟින් වාඩි වුණා. මම ඉබේටම වගේ එයාගේ ඔඩොක්කුවට ඔලුව තියාගත්තා. එයා හරිම ආදරෙන් මගේ කොණ්ඩේ අතගෑවා.
“රිදෙනවද මැණික?”
මම ඔලුව වැනුවා. එයා පාත් වෙලා මගේ නළලට හාදුවක් දුන්නා. ඒ මොහොතේ මට හිතුණා, මේ මනුස්සයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා.
කාලය හරි ඉක්මනට ගෙවිලා ගියා. අපි නොදැනුවත්වම අවුරුදු තුනක් ගතවෙලා. අපේ ආදරේ දවසින් දවස ශක්තිමත් වුණා. තවත් මේ විදියට හොරෙන් ආදරේ කරලා ඇති කියලා අපිට හිතුණා.
“අපි ලංකාවට යමු නිමාෂා. ගිහින් බැඳලා, අපේම කියලා ජීවිතයක් පටන් ගමු. මෙහෙම හැංගි හැංගි ඉඳලා ඇති,” දවසක් කසුන් අයියා කිව්වා.
ඒක තමයි මගේ හිතෙත් තිබ්බ ලොකුම හීනය. අපි දෙන්නම එකඟ වුණා. මගේ කොන්ත්රාත්තුව ඉවර වෙන්න තිබ්බේ මාසයයි. එයාගේ එකට තව මාස තුනක් තිබුණා. ඉතින් මම ඉස්සෙල්ලා ලංකාවට එන්නත්, මාස දෙකකින් එයා එන්නත් අපි සැලසුම් කළා.
යන්න දවස ළංවෙද්දී මගේ හිතට දැනුනේ පුදුම දුකක්. ඒ එයාව දාලා යන්න වෙන නිසයි. අන්තිම දවසේ රෑ අපි ගරාජ් එකේදී හම්බවුණා. අපි දෙන්නම ඇඬුවා.
“මාස දෙකයි මැණික. මම ඉක්මනට එනවා. පරිස්සමෙන් ඉන්න,” එයා මගේ අත් දෙක තදින් අල්ලගෙන කිව්වා.
ලංකාවට ආවත් මගේ හිත තිබ්බේ කුවේට්වල. එයා නැතුව ගෙවුණු ඒ මාස දෙක මට අවුරුදු දෙකක් වගේ දැනුනේ. දවස ගානේ අපි කතා කළා. අන්තිමට එයා එන දවසත් ආවා. මම අපේ ගෙදර අයටත් විස්තරේ කියලා, එයාලත් එක්ක එයාව එක්කන් එන්න එයාර්පෝට් එකට ගියා.
පැමිණීමේ දොරටුවෙන් එයා එළියට එනවා දකිද්දී මගේ ඇස්වලට කඳුළු ආවේ මටත් නොදැනීමයි. එයා දුවගෙන ඇවිත් මගේ ඉස්සරහ හිටගත්තා. එයාගේ ඇස්වලත් කඳුළු. අපි වටේ හිටපු මිනිස්සු දිහා නොබලා, එතනම එකිනෙකාට තුරුළු වුණා. ඒ මොහොතේ මට දැනුණේ මගේ නැතිවෙලා තිබ්බ පණ ආයෙමත් ලැබුණා වගේ.
මාස කිහිපයකට පස්සේ, අපේ දෙමාපියන්ගේ සම්පූර්ණ ආශිර්වාදයත් එක්ක අපි දෙන්නා එක වහලක් යටට ආවා. අද මම එයාගේ ආදරණීය බිරිඳ. අපිට පොඩි දුවෙකුත් ඉන්නවා. සමහර වෙලාවට රෑට, දුවවයි එයාවයි තුරුළු කරගෙන නිදාගන්නකොට මට කුවේට්වල ගෙවපු ඒ තනිකමෙන් පිරුණු, අඳුරු ජීවිතේ මතක් වෙනවා. ඒ කාන්තාරයේ අතරමං වෙලා හිටපු මගේ හිත හොයාගෙන ආවේ මගේ කසුන් අයියා. එයා තමයි මගේ ජීවිතේට වසන්තය ගෙනාවේ.
